Thursday, April 11, 2019

පන්සීය අසූවයි...

වසර කිහිපයකට පෙර සතිඅන්ත නිවාඩු දිනයකි... එකල මා ඉඳහිට දිනක පෑලියගොඩ මාලු මාකට් එකට ගොස් මාලු ගෙනඒමට පුරුදුව සිටියෙමි...
එදින උදෑසනම පුරුදු පරිදි මා යකඩ අස්සයා පිට නැගී මාලු මාකට් එකට ගියෙමි.. අලුත් මාලු ලබාගත හැකි වීමත්, සිල්ලර වෙලෙන්දන්ට වඩා අඩු මිලට මාලු මිලදීගත හැකි වීමත් ඉඳහිට එම ගමන යාමට මා පෙළඹීමට හේතුයි...
මම වර්ග කිහිපයකින් මාලු කිලෝ කිහිපයක් මිලට ගෙන ආපසු ඒමට සැරසුනෙමි... අම්මට සිරි.... ඉස්සො.....
ඉස්සන් ඩෙවල් එකක් සමඟ මදුවිත බඳුනක් තොලගාන අයුරු සැනින් මා සිතේ ඇඳී ගිය බැවින් මා එතන මදකට නැවතීමි..
ඉස්සො කීයද..
පන්සීය අසූවයි....
මම සාක්කුවේ ඉතිරි මුදල් ගැන බැලුවෙමි... රුපියල් 250ක් ඉතිරිව ඇත... අසූවයි අසූවයි එකසිය හැටයි..
ඉස්සන් කිලෝ එකක් රුපියල් එකසිය හැටට හොඳාටෝම වාසිය... මෙය ඉස්සන් වැඩිපුර අහුවෙන කාලයක් විය යුතුය.. මෙච්චර ගනන් අඩු ඒකය...
ඉස්සො කිලෝ එකක් දාන්න...
මාලු මුදලාලි මහතා එසැනින් කිලෝ එකක් කිරුවේය.. මා අත කලු පැහැ ටියුලිප් මලු දෙකකි.. ඉන් එකකට ඉස්සන් දමා ගතිමි...
දෙසීය පනහෙන් එකසිය හැටක් අඩු උනාම රුපියල් අනූවක් ඉතිරිය... හිත හිතා සිටීමට කාලයක් නොවේ මෙය... අදනම් ඇඩිරස් නැති වෙන්නම ඉස්සො කත හැකිය......මේ වාගේ වාසිදායක අවස්තා මගහැරිය යුතු නොවේ...
තව පන්සීයක් දාන්න..
එසැනින් තව ඉස්සන් පන්සීයක් මාගෙ බෑග්එකේය...
කියද මුදලාලි...
අටසීය හැත්තෑවක් දෙන්න..
හුටා.. අටසීය හැත්තෑවක්.. මං කොහෙන් දෙන්නද..
මට ක්ෂනිකවම හැගී ගියේ මට කෙලවුනු බවය... දැන් මා අටසීය හැත්තෑවක් ගෙවිය යුතුය....
වෙලෙන්දා කියා ඇත්තේ කිලෝ එකක් රුපියල් පන්සීය අසූවක් කියාය... මා ග්රෑම් පන්සීයක් රුපියල් අසූවට ගැනීමට සිතා කිලෝ එහමාරක් ලබාගෙන ඇත...
කලහැකි කිසිවක් මගේ සිතට ඇතුලු නෙවූ බැවින් මගේ සාක්කුවේ තිබූ රුපියල් දහසේ නෝට්ටුවක් නැතිවූ පාරිභෝගිකයෙකුගේ ජවනිකාව රඟ දක්වා යාන්තමින් ජාමය බේරා ගතිමි...

No comments:

Post a Comment