Thursday, April 11, 2019

පුංචි කාලෙ මං.....
අද ලැබුනු පුංචි නිවාඩුව නිස්කල⁣න්කව බුක්ති විඳින අතරෙ සමන්ත මහත්තයගෙ පුංචි කාලෙ ගැන ලියල තිබුනු කතාවක් කියෙවුව.. මගෙ පුංචි කාලෙත් ඊටම සමාන හින්ද මටත් ආස හිතුන පුංචි කාලෙ ගැන පුංචි කුරුට්ටක් දෙකක් ඔහේ ලියල දාන්න...
මිත්‍රවරුනි... එන්න මගෙත් එක්ක මගෙ පුංචි කාලෙට යන්න...
*********************************************
මං හරිම ආසාවකින් තමයි මොන්ටිසෝරියට ගියෙ.. උදේ යද්දි ගමනෙන් බාගයක් අම්ම මාව වඩාගෙන යනව මතකයි... ලොකු කිරිබොන කප් එකක් පිරෙන්න අම්ම කිරි එකක් හදල මගෙ අතට දෙනව.. මං අම්මත් එක්ක යනගමන් ටික ටික ඒක බොනව... මොන්ටිසෝරිය ලඟදි ඒක ඉවර වෙනව..
ගෙවල් ලඟ තිබුන කඩයක්... හැමදාම වගේ අම්මයි මායි ඒ කඩේට ගියා මොන්ටිසෝරියට යන ගමන්.. ඒ පාට කූරු පෙට්ටි ගන්න... ඒ දවස් වල තිබුන පුංචි ගිනිකූරු වගේ පාට පෙට්ටි වර්ගයක්.. අලිය ගිනිපෙට්ටියට වඩා ටිකක් විතර ලොකුයි... ඒකෙන් එන අපූරු සුවඳට මං හරි ආස උනා... උදේ ගන්න පාට පෙට්ටිය හවස එද්දි ඉවරයි... ආයෙ පහුවදාට තව එකක්...
ටීචගෙ ගෙවල් තිබුනෙ අපි යන පාරෙම ආපේ ගෙදරයි මෙින්ටිසෝරියයි අතර... ඒ පාරෙ රබර් වත්තක්, පුංචි ඇලපාරක්, හොර ගස් දෙකතුනක්, දං පඳුරු වගයක් තිබුන මතකයි...
හවස එද්දි මං ගොඩක් වෙලාවට එන්නෙ ටීච එක්ක... ඇරෙන වෙලාවට අම්ම ඇවිත් නොහිටියොත් ටීච මාව එක්ක එනව... ගොඩක් වෙලාවට අම්ම මගදි හම්බෙනව... නැත්නම් අම්ම එනකම් ටිචලගෙ ගෙදර ඉන්නව....
එක දවසක් මොන්ටිසෝරිය ඇරෙද්දි අම්ම ඇවිත් හිටියෙ නැහැ..අනිත් ලමයි සේරම ගෙදර ගියා.. මමයි ටීචයි ඉතුරුයි... ටීච සේරම ජනෙල් වහල දොරේ යතුර මේසෙ උඩින් තියල වතුර බෝතලේ ඉතුරු වතුර ටික එලියෙ මල් ගහකට හලන්න ගියා...
මට හිතුන පුංචි දඟ වැඩක් කරන්න... මම ටීච හූ හූ කියල එකපාරටම දොර වහගත්ත.. දොර දඩාං ගාල සදදෙට වැහිල ලොක් උනා.. ජනෙල් වහල නිසා ඇතුල කලුවරයි... මට හරියට හිනා... මම තාමත් ඇතුලෙ ඉඳන් ටීචට ඔච්චමට හිනා වෙනව...
යතුරු කැරැල්ල මේසෙ උඩ.... එලියෙන් දොර අරින්න පුලුවන් යතුර දාල විතරයි...
පුතේ දොර අරින්න... දොර අර්න්න.... ටීච හයියෙන් කෑ ගගහ දොරට ගහනව.. ටීච අඬනවද මන්ද... ඒ පාර නම් මටත් බය හිතුන... මමත් හයියෙන් කෑගහල ඇඬුව....
පොඩි වෙලාවකින් එලියෙ කිහිපදෙනෙක් මට දොර අරින්න කියල කෑගහනව... මම තව සද්දෙන් අඬනව.. ටීචත් එලියෙ ඉඳන් අඬනව ඇහෙනව.... මං ලොක් එකට උසමදි ව⁣ගේ මතක.....
ටික වෙලාවකින් වහලෙන් මොකක්දෝ සද්දයක් එන්න ගත්ත... ඇතුල කලුවර නිසා මට පෙනුනෙ නැහැ මොකෙක්ද කියල... මාව අල්ලගන්න යකෙක් ඇවිත් වගේ.. මං දොර ලඟ බිම ඉඳගෙන තව හයියෙන් ඇඬුව....
එක පාරටම වහලෙ සද්දයක් එක්ක ඇතුලට එලිය වැටුන.. උලු කැටයක් අයින් කරල යකා ඇතුලට එන්න හදනව.. තව උලුකැටයක් අයින් කලා.... යකා ඉස්සෙල්ලම කකුල් දෙක පහලට දැම්ම... ඊලඟට වහලෙ පොඩි කොටුවෙන් අමාරුවෙන් රිංගල බාල්කෙට බැස්ස... දැන් යකා මාව ගිලියි.... මම ඇස්දෙක තදකරල වහගෙන පුලුවන් තරම් හයියෙන් ඇඬුව.. යකා බාල්කෙන් මේසෙට පැනල එතනිනි බිමට පැනල ඇවිත් මාව වඩා ගත්ත.... මං තවත් ඇස් තදකරන් ඇඬුව....දැන් මාව කයි....
යකා ටකස් ගාල සද්දෙට දොරේ ලොක් එක කරකෝල දොර ඇරන් මාව එලියට අරන් ගියා... පුතේ..... අම්මගෙ කටහඬ... අම්ම මාව වඩාගත්තම තමයි මං ඇස් ඇරියෙ.....
අම්මයි ටීචයි දෙන්නම එකපාර මාව තුරුලු කර ගත්ත.....
කට්ටිය ගොඩක් වටවෙලා තිබුන එතෙනට.... හැමෝම මං දිහා බැලුව... අම්ම හිටිය නිසා යකා මාව දාල දුවලද කොහෙද....
මොන්ටිසෝරියෙ වහලෙට හේ්ත්තු කරපු ඉනිමගක් දිගෙ කවුද මංද කලුම කලු මාම කෙනෙක් නැගල යකා ගලවපු උලුකැට ආපහු තිබුන විදයට හදනව මං එනකොට දැක්ක....

No comments:

Post a Comment